මානව හිතවාදී අති උතුම් දෙවන ජුවාම් පාවුළු පාප්තුමා.


වර්ෂ 1920 මැයි 18 පෝලන්තයේ ක්‍රැකෝව් ප්‍රදේශයේදී එමිලියා හා වොයිටිල්ලා යුවලට මව්පිය පදවි උරුම කරමින් කැරොල් වොයිටිල්ලා මෙලොව එලිය දිටීය.

වර්ෂ 1946 නොවැම්බර් 01 පූජාත්වරය ලබා ක්‍රැකෝව් හි සරසවියේද, රෝමයේද අධ්‍යාපනය ලැබීය. පෝලන්තයේ පැවති කොමියුනිස්ට් පාලනය නිසා කැරොල් පියතුමාට තම පූජක සේවාව කිරීමට සිදුවූයේ ඉතා රහසිගතවය. ඇතැම් විට පූජක වස්ත්‍ර ඉවත ලා සාමාන්‍ය ඇඳුමින් සැරසී කැලෑබද පෙදෙස් වල ජනතාව සමඟ යාච්ඤා කිරීමටත්, ඔවුන්ගේ ආත්මික සේවා ඉටුකිරීමටත් සිදුවිය. මේ අතරතුර වර්ෂ 1958 ජුලි 04 අති උත්තම 12 වන පියුස් පාප්තුමා එතුමන්ව ක්‍රැකෝව් හී සහයක රදගුරුවරයට පත් කළේය. වර්ෂ 1964 ජනවාරි 13 අති උත්තම හයවන පාවුළු පාප්තුමා විසින් ක්‍රැකෝව් හි අගරදගුරු ධූරයට පත්කර, ඉන්පසුව වර්ෂ 1967 ජුනි 26 වොයිටිල්ලා අගරදගුරු තුමන්ව කාදිනල් ධූරයට උසස් කරන ලදී.

වර්ෂ 1978 ඔක්තෝබර් 16 පළමුවන ජුවාම් පාවුළු පාප්තුමන්ගේ හදිසි ස්වර්ගස්ථ වීමත් සමඟම වොයිටිල්ලා කදිනල් හිමිපාණන් පාප්තුමන් ලෙස තේරී පත්විය. ශු. පේදුරු තුමන්ගෙන් ඇරඹි සසුන් පිය පරපුරේ 264 වැන්නා ලෙස කාදිනල් වොයිටිල්ලා හිමිපාණෝ දෙවන ජුවාම් පාවුළු නමින් ශුද්ධාසනය බාරගත්හ. පෝලන්තයේ සිට රෝමය දක්වා පැමිණි ගමනේදී එතුමන් දුටු, ඇසූ දේ එනම් යුද්ධය, හිංසාව, පීඩනය, අසාධාරණය, දරිද්‍රතාවය හා බඩිගින්න වැනි දෑ එතුමන්ගේ සසුන් පිය ජීවිතය තව තවත් ශක්තිමත් කළේය.

එතුමන් පාප් ධූරයට පත්වූයේ වසර 125 කින් පත්වූ ලාබලතම පාප්තුමා ලෙසත්, වසර 455 කට පසු පත් වූ ඉතාලි ජාතික නොවන පාප්තුමෙකු ලෙසත්ය. මුල සිටම කොමියුනිස්ට් වාදයට හා ද්‍රව්‍යවාදයට විරුද්ධ වූ එතුමා ලෝකයෙන් කොමියුනිස්ට් වාදයට හා ද්‍රව්‍යවාදය අතුගා දැමීමට ක්‍රියා කළේය.

වර්ෂ 1981 මැයි 13 දා වතිකාන චතුරශ්‍රයේ දී අලි අග්කා නැමැති තුර්කි ජාතිකයා එතුමාට වෙඩි තැබුවේය. බරපතල තුවාල ලබා පසුව රෝහල් ගතකර සුවය ලබාගත් පසු සිරමැදිරියටම ගොස් අලි අග්කා හමුවී එතුමා ඔහුට සමාව දුන්නේය. දෙවන වතිකාන මන්ත්‍රණ සභාවට තරුණ රදගුරුතුමෙකු ලෙස සහභාගී වූ දෙවන ජුවාම් පාවුළු පාප්තුමා ලෝක කතෝලික සභාව මිනිසාගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටිය යුතු බවත් එය කතෝලිකයින් සඳහා පමණක් නොව සියළු මානව වර්ගයාම උදෙසා විය යුතු බවත් එහිදී පැවසීය. ජුදෙව්වනේ ජේසු සමිඳුන්ගේ මරණයට සාමූහිකව වගකිව යුතු නොවන බවටද, සභාව අනිකුත් ආගම් දෙස බලන ආකාරය වෙනස් විය යුතුබවටද උන්වහන්සේ ඉදිරිපත් කළ අදහස් ඒ අතර කැපී පෙනුණි. ක්‍රිස්තුන් වහන්සේගේ සුබාරංචිය රැගෙන ලොව වටා විවිධ රටවල සංචාරය කළ උන්වහන්සේ රෝමයේ සිරකරුවා බවට පත් නොවීය. ලෝක සාමය වෙනුවෙන් ඒ ඒ රටවලට ගොස් ආයාචනය කළ උන්වහන්සේ ඒ සඳහා වර්ෂ 1995 දී ලොව වටිනාම පුද්ගලයා ලෙස අන්තර්ජාතික ටයිම්ස් සඟරාවෙන් පුදනු ලැබීය.

This slideshow requires JavaScript.

කුඩා දරුවන්ට හා තරුණ තරුණියන්ට බොහෝ සේ ආදරය කළ දෙවන ජුවාම් පාවුළු පාප්තුමා ගබ්සාව, සමලිංගික විවාහ හා කෘතිම උපත්පාලනය ආදි කරුණු වලට විරුද්ධව කතෝලික සභාවේ ස්ථාවරය සෘජුව ප්‍රකාශ කරන ලදී.

ඉතිහාසයේ කතෝලික සභාවෙන් ලෝකයාට සිදුවූ සියළු වැරදි වලට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමට තරම් එතුමෝ නිහතමානී වූහ. මිනිස් ශ්‍රමය, සමාජ සැලකිල්ල, කාන්තා ශ්‍රේෂ්ඨත්වය, මිනිසාගේ ගැලවුම්කරුවාණෝ සීයක් වසර, දිව්‍ය සත්ප්‍රසාදයේ සාන්ත සභාව ආදී විශ්ව ලේඛන 14 ක්ද, අපෝස්තලික ව්‍යවස්ථා 110ක් ද, අපෝස්තලික අනුශාසනා 11 ක්ද, ගණන් කළ නොහැකි තරම් ලිපි හා පණිවුඩ එතුමා අතින් රචනා විය. එතුමා ලියූ “ත්‍රෙස් හෝල්ඩ් ඔෆ් හෝප්” නැමැති පොත පමණක් ලොව පොරා පිටපත් දසලක්ෂ 20 කට වඩා අලෙවි විය. මේ සියල්ලක් මඟින් එතුමෝ කාලයේ අවශ්‍යතාවයන්ට අනුගත වන පරිදි කතෝලික සභාව ශක්තිමත් කර ගොඩනැඟූහ.

අති උතුම් දෙවන ජුවාම් පාවුළු පාප්තුමා අතින් ශුද්ධවරයට හෝ භාග්‍යවරයට හෝ ඔසවනු ලැබූ සංඛ්‍යාව දෙදහසකට ආසන්නය. අප පාප්තුමා භාග්‍යවර ප්‍රදානෝත්සවයන් 147 කදී 1338 දෙනෙකු භාග්‍යවරයටද, ශුද්ධවර ප්‍රදානෝත්සවයන් 51 කදී 482 දෙනෙකු ශුද්ධවරයටද ඔසවා ඇත. වර්ෂ 1995 ජනවාරි 20 වන දින සිය 64 වන විදෙස් චාරිකාව ලෙස ශ්‍රී ලංකාවට සැපත් වූ දෙවන ජුවාම් පාවුළු සසුනිසුරාණෝ ජනවාරි 21 වන දින ගාලු මුවදොර පිටියේදී ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඉදිරියේ දී ජුසේ වාස් පියතුමාව භාග්‍යවරයට ඔසවන ලදී. ඒ ආනන්දජනක අවස්ථාවේ මතකයන් ශ්‍රී ලාංකිකයන් වන අපට අදත් ඉතිරිව තිබේ. අප රටේ ජනවාර්ගික අර්බුධය පවතින සමයේදී දේශපාලන විසඳුමක කැපීපෙනෙන අවශ්‍යතාවය පෙන්වා දුන් උන්වහන්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජගත් ප්‍රජාවගේ යැදුම් ඉල්ලා සිටි අතර, වර්ෂ 2004 සුනාමි ව්‍යසනය අවස්ථාවේ දී තමන්වහන්සේගේ පෞද්ගලික නියෝජිතයෙකු අප වෙත එවා අපගේ දුක සැප විමසා බැලීමට අමතක නොකලේය. කාදිනල් සංසදයන් 09 ක් පවත්වා රදගුරුවරුන් 231 දෙනෙකුට කාදිනල් නිලය පිරිනැමූ අප පාප්තුමා චන්ද්‍රිකා තාක්ෂණ යුගයේ හා අන්තර්ජාල යුගයේ විසූ ප්‍රථම පාප්තුමා විය. මුස්ලිම් පල්ලියකට, ජුදා සිනගෝගයකට ඇතුළු වූ ප්‍රථම පාප්තුමාද එතුමාණෝය.

පුරා වසර 19 ක් පාකින්සන් රෝගයෙන් පීඩාවිඳි එතුමා ඇසින් බිඳ වැටෙන කඳුළු දහරා, වෙව්ලන දෙපය හා ශාරීරික පීඩ සියල්ල ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් විඳ දරාගත්තේය. එතුමා විසින් ලොව පුරා දියත් කරන ලද ධර්මදානීය ප්‍රයත්නයට එමඟින් කිසිදු බාධාවක් සිදුනොවීය. සාමාන්‍යයෙන් පාකින්සන් රෝගීන් ශාරීරිකව මෙන්ම මානසිකවද පහත වැටෙන බව වෛද්‍ය මතයයි. නමුත් දෙවන ජුවාම් පාවුළු පාප්තුමා සුපුරුදු පරිදි තම වැඩ කටයුතු කරන අයුරුත්, රට රටවල සංචාරය කරන අයුරුත්, දේශනා හා කතා පවත්වන ආකාරයද වෛද්‍යවරුන්ගේ මවිතයට හේතුවිය. අවසන් කාලයේදී ලෝක ජනමාධ්‍යවේදීන් එතුමාව හඳුන්වන ලද්දේ “දුක් විඳින මිනිසාගේ සැබෑ ප්‍රතිමූර්තියක්” ලෙසය. දිනක් ජනමාධ්‍යවේදියෙකු පාප්තුමන්ගෙන් රෝගී බව නිසා විශ්‍රාම ගන්නවාදැයි විමසා සිටිය විට එතුමා පැවසුවෙ “ක්‍රිස්තුන් වහන්සේ කුරුසියෙන් බැස ඉවත් වුණාද?” යනුවෙනි. තවත් අවස්ථාවක එතුමන් කියා සිටියේ දුක් වේදනා විඳිම කිතුනු ජීවිතයේ ඉතා ප්‍රබල පණිවුඩයක් බවත් තමා ලද දේව පණිවුඩය නම් තමා වේදනාවෙන් යුතුවම කතෝලික සභාව ඉදිරියට ගෙන යා යුතු බවත්ය.

අති උතුම් දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් නිරන්තරයෙන් පශ්චත්තාපයේ ජීවිතයක් ගත කළ බවට එතුමාගේ සමීපතමයෝ සාක්ෂි දරා ඇත. රදගුරු හා කාදිනල් අබිසෙස් මෙහෙයන්ට ප්‍රථම නිරාහාරශීලය රකිමින් ගැඹුරු යාච්ඤාවේ යෙදී සිටිය බවද වෙසෙසින් සඳහන් කර ඇත. දුගී රටවල් ගොදුරු කරගන්නා ධනවත් රටවල් වලට එරෙහිවද, විදෙස් ණය කපා හැරීම පිළිබඳව ද සෘජුව එතුමෝ අදහස් දැක්වූහ. වයස අවුරුදු අටේදී සිය මෑණියන්ගේ වියෝවත් සමඟ දේව මෑණියන්ට තම ජීවිතයේ දුන් ස්ථානය එතුමන්ගේ සසුන් පිය ජීවිතය තුළද කැපී පෙනුණි.

එතුමෝ ලොව පුරා මරිය බැතිය ප්‍රබෝධමත් කොට, ව්‍යාප්ත කොට ශක්තිමත් කළේය. පුරා අවුරුදු 26 ක කාලයක් කතෝලික පල්ලියට නායකත්වය දෙමින් දෙවන ජුවාම් පාවුළු පාප්තුමා ක්‍රිස්තු ශ්‍රාවකත්වයට හා කිතුනු නායකත්වයට හොඳම උදාහරණය බවට පත්වෙමින් දූරදර්ශීව, විචක්ෂණශීලීව හා බුද්ධිමත්ව කාලයේ අවශ්‍යතාවයන්ට සංවේදි වෙමින් නව ප්‍රවනතා වලට සභාව තුල ඉඩකඩ ලබාදෙමින් සිදු කළ මෙහෙය සැබවින්ම අගය කළ යුත්තකි. එම දූත සේවාව තුල ප්‍රධාන කොට ලෝක සාමය වෙනුවෙන්ද, මානව ගරුත්වය සුරැකීම වෙනුවෙන්ද, තුන්වන ලෝකයේ දුගී දුප්පත්කම දුරලීම වෙනුවෙන්ද තිබුන් විශාල නැඹුරුවකි.

වර්ෂ 2005 පෙබරවාරි මස 01 වන දින දරුණු උණ රෝගයකින් රෝහල් ගත කෙරුණු එතුමා බැතිමතුන්ගේ යාච්ඤාව මත ඉන් සුවය ලද්දේය. නමුත් දේව නියමය පරිදි වර්ෂ 2005 අප්‍රියෙල් මස 03 වන ඉරුදින එතුමා දිවි පියාණන් වහන්සේගේ වාසභවනය වෙත නැවත පිය නඟා ගියේය. එතුමන් එසේ අපෙන් 84 වන වියේදී සමුගෙන ගියත් සමස්ත ලෝකයාටත්, කතෝලික පල්ලියටත් ගොඩ නඟා ඉතිරි කර ගිය දේ බොහෝය.

ලොව වටා චාරිකා 104 කට සහභාගි වෙමින්ද, ජනහමු වලදී දසලක්ෂ 300 කට අධික පිරිසක් පෞද්ගලිකව හමුවීමෙන්ද එතුමා ඒ වන විට ලොවපුරා අතිශයින් ජනප්‍රියතම පුද්ගලයා බවට පත්ව තිබුණි. එතුමන් කතෝලික පල්ලිය ස්වර්ග රාජ්‍ය කරා ගෙනයන ගමනේ දී එම සභාවට දුන් නායකත්වය එදා පුරාණ ගිවිසුමේ පාරාවෝ රජුගේ වහල් බවින් ඊශ්‍රායෙල් ජනතාව මුදවාගෙන කාන්තාරය හරහා පොරොන්දු දේශයට ගෙන යන මෝසෙස් තුමන්ගේ නායකත්වයට නොදෙවෙනි නායකත්වයක් බවට අවිවාදිතය. අති උතුම් දෙවන ජුවාම් පාවුළු පාප්තුමන්ගේ අවමංගල්‍යය පිළිවෙතට එක් වූ ලක්ෂ තිහකට අධික ජනතාව එදා එක් හඬින් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් එතුමන්ව සාන්තුවරයට පත් කරන ලෙසයි.

එතුමන්ගේ අනුප්‍රාප්තිකයාණන් වන අති උතුම් සොළොස්වන බෙනඩික් පාප්තුමන්ගේ නිරන්තර අධීක්ෂණය යටතේ සිදුවූ භාග්‍යවරයට එසවීමේ කටයුතු දැන් සම්පූර්ණ වී ඇත. අති උතුම් දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් එතුමන් විසින්ම ස්ථාපිත කරන ලද දේව දයාවේ ඉරුදින හා ලෝක කම්කරු දිනයත් යෙදෙන මැයි මස 01 වන දින අති උතුම් සොළොස්වන බෙනඩික් පාප්තුමන් අතින් භාග්‍යවරයට ඔසවනු ලැබීමට නියමිතය. මෙය සැලවීමත් සමඟ ලොව පුරා කතෝලික ජනතාව ප්‍රීති ඝෝෂා පැවැත්වීය. භාග්‍යවරය සඳහා හේතු වී ඇත්තේ ප්‍රංශ ජාතික ගරු මාරී සීමෝන් පියෙර් පැවිදි සොහොයුරිය පාකින්සන් රෝගයෙන් ඔත්පල වී මරණාසන්නව සිට සග සැපත් පාප්තුමන්ගේ මැදිහත්කම තුළ ලද ප්‍රාතිහාර්යාත්මක සුවයයි. දැන් එතුමිය සුපුරුදු පරිදි සිය කටයුතු වල නියැලෙන්නීය.

ජිවත්වන කාලයේ දීම සාන්තුවර ලක්ෂණ මොනවට විදහා පෑ අති උතුම් දෙවන ජුවාම් පාවුළු සසුන් පියාණනි, දෙවිපියාණන් වහන්සේ ඔබවහන්සේව භාග්‍යවරයට ඔසවා තැබීම වෙනුවෙන් උන්වහන්සේට ස්තූති ප්‍රශංසා කරන අතර භාග්‍යවරයෙන් සාන්තුවරය දක්වා ඔබවහන්සේව උන්වහන්සේ ඔසවා තබනු ඇතැයි බලාපොරොත්තුවෙන් නිරන්තර යාච්ඤාවේ යෙදී සිටින ලෝක කතෝලික ප්‍රජාව සමඟ ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව වන අපිදු එක්ව යාච්ඤා කරමු.

ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතට දළුගම දිනේෂ් පෙරේරා ලිවූ ලිපි‍යකි.

එතුමා ගැන වැඩිදුර තොරතුරු මෙතනින් ගන්න පුලුවන්.

@RoylyFdo

පිංතූර ගත්තේ මේ තැන් වලින්
http://www.turnbacktogod.com/pope-john-paul-ii-shot-in-the-vatican/pope-with-the-man-who-shot-him/
http://www.britannica.com/EBchecked/media/60477/Karol-Jozef-Wojtyla-Warsaw-Poland-1945
http://www.massmailsoftware.com/blog/2008/03/does-pope-use-e-mail/
http://www.remember-me-memorial.com/Humans/PopeJohn.html
http://www.turnbacktogod.com/pope-john-paul-ii-pics-02/
http://fratres.wordpress.com/category/catholic/theology/
http://www.genopro.com/articles/John-Paul-II/
http://www.cuttingedge.org/News/n2020.cfm
http://www.tldm.org/directives/d07.htm

  1. Ansh Lucky Sri Jay
    April 30, 2011 at 3:58 pm

    නොදන්නා කරුණු රැසක් දැනගතිමි.. ස්තූතියි..!🙂

  2. ඩිලාන්
    April 30, 2011 at 8:00 pm

    නියමයි ලිපිය…ගොඩක් ස්තූතී ලිපිය දුන්නට..

  3. Sandamal Perera
    May 1, 2011 at 8:06 am

    Gud one

  4. shehan
    November 20, 2011 at 5:16 pm

    bohoma sthuthiiiiiiiiiiiiiiiii

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: