Archive

Posts Tagged ‘Mother’

ඇය


මා ඇයට ආදරයෙන් කතා කල වාරගණනට වඩා බැණ අඬගසපු වාර ගණන වැඩිය. ඇයට කිසියම් දෙයකට මාව අවශ්‍ය වූවත් ඒ හැමවිටම ඒ එම වැඩය අවසන් කලයුතු මොහොත ඉතාමත්ම ආසන්න මොහොතක් වන නිසාම මා ඉතාම කෝපයෙන් යුතුව ඒ වැඩය කර දුන්නත් ඒ කෝපයෙන් නොව මීට වඩා උනන්දු කිරීමට අවශ්‍ය වූ නිසා බව ඔබට සමහර විට වැටහෙන්නට නැත. මට යම් වැඩකට ඇයව අවශ්‍ය විටෙක ඇය මා හට ඒ වැඩය කරදෙන විට, මා කෝපවී කෑ ගැසූ අවස්ථා මතක් වී නිහඬව පසුතැවිලි වුනෙමි.

අද ඔබයි මායි සිටින්නේ ඉතා ඈතකය. පෙරදාටත් වඩා ඔබගේ අඩුව මට අද දැනේ. ඒත් කවදා හෝ ඔබ මා හැර යන දිනෙක විඳින්නට සිදුවෙන දුක අඩුකරගන්නට මේ ඈත් වීම මට උදව් වේ යැයි මා සිතා සැනසුනත් සමහර විටෙක එදාට මට ඔබ ලඟින් ඉන්නට තිබූ දින වලදීද මා ඈත් වූ එක ගැන මට වේදනාවක් දැනෙනු ඇත.

අයියලා, මල්ලිලා, අක්කලා මට නැත. මට ඒ හැම දෙනා වෙනුවටම ඉන්නේ එකම එක නැගණියෙකි. ඒ ඔබය. ඔබ වැනි නැගණියක් ලබන්නට මා වාසනාවන්ත විය යුතුය.

ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා දයාබර නැගණියේ !!!!!!

ඈත් වී සිටීම දුකක් වුවත් ඔබව හා අම්මාව බලන්නට නැවත එන දිනය ගැන දෑස් දල්වා බලා සිටින්නෙමි.

සැමරීමක් නොමැති උපන්දිනය.


අද සැප්තැම්බර් දාසය. මගෙ උපන්දිනය. අවුරුද්දට සැරයක් කේක් එකක් කපලා පොඩි ජොලියක් දාලා මතක හිටින්න ෆොටෝ දෙක තුනක් අරගෙන සැමරීමක් කරන්න……. එහෙමත් නැතිනම් පාටිය අවලංගු කරලා ඒ මුදල් වලින් අනාථ නිවාසයක ඉන්න සහෝදර සහෝදරියන් එක්ක සන්ධ්‍යාවක් ගත කරලා අර්ථවත් විදියට සැමරීමක් කරන්න… මමත් ආසයි. ඒත් අද මම ඉන්නෙ ඒ සැමරීම කරන්න හැකියාව තිබුනත් කිසිම ප්‍රබෝධයක් නැති තත්වයක. ඒකට හේතුව මම අද ඉන්නෙ දුරු රටක යුරෝ හොයාගන්න නොවිඳිනා දුක් විඳිමින් නිසාමත් නෙවෙයි. මම ගොඩක්ම ආදරය කරන මගෙ අම්මා මා අසල නැති එක ගැන තැවෙමින්. නිවාඩුවට ලංකාවට ගිහින් මාස දෙකහමාරක් අම්මා හා නංගි එක්ක ගත කරලා ආපු ගමන් හිතට දැනෙන කාංසිය වචන වලට පෙරලන්න තරම් මම භාෂාව හැසිරවීමේ දක්ෂතාවයක් මට නැහැ.

අම්මා ඇයගේ ජීවිතයම කැප කලේ අපේ පවුලේ විශේෂයෙන් දරුවන් දෙදෙනාගේ අභිවෘධිය වෙනුවෙන්. අම්මා තුල තිබුනු ඒ ධෛර්යය, කැපවීම මා තුල නම් පිහිටලා නැහැ. පොඩි කාලෙ ඉඳින්ම අපිට දුකක් දෙන්න නොවිඳිනා දුක් විඳින්න ඇති. මම සැපසේ පාසල් වෑන් රථයේ නැඟිලා පාසල් යනකොට හැම දාම අම්මා බස් එකේ කොළඹ ගියා රැකියාව කරන්න. අද කාලෙ බස් සේවය වඩා යහපත් තත්වයක තිබිලත් කොළඹ ගිහින් එනවා කියන්නෙ මරණවා වගේ වැඩක්. පැය එකහාමාරක් දෙකක් බස් එකක ඉඳගෙන වුනත් එනවා කියන්නෙ මට මෙහෙම නම්, සතියේ දින 5ක් පුරාවට රැකියාවට යනවා කිව්වම මට අද නම් හිතා ගන්නවත් අමාරුයි. ඒ ගෙදර අනිකුත් වැඩත් කරන ගමන්. ලැබෙන සොච්චම් පඩිය රෝල් ගහලා අපේ අවශ්‍යතා සපුරද්දි මම අනන්තවත් අනවශ්‍ය වියදම් ඉල්ලලා කන්කෙඳිරි ගාපු අවස්ථා අනන්තයි. ඒවා දෙන්න හැකියාවක් නොතිබුනු වෙලාවක මට තරහ ගිය අවස්ථාත් අපමණයි. එහෙම වුනේ මගෙ යාළුවො අත දිගැරලා වියදම් කරද්දි මම කොන්වෙච්ච නිසා වුනත් මගේ කන්කෙඳිරි ගෑම් වලදි අම්මා මොනා හිතන්න ඇතිද කියලා මට අද තේරෙනවා.

මට තාමත් අම්මව නිදහසේ තියන්න බැරි වෙච්ච එකට මම තාමත් හඬාවැටෙනවා අම්මේ. අදටත් අපි වෙනුවෙන් අම්මා විවිධාකාරයෙන් වෙහෙසෙන බව මම දන්නවා. රැකියාවට නොගියත් නොයෙකුත් ආකාරවලින් අම්මා අපි වෙනුවෙන් කරන කැපවීම් මට හොඳට තේරෙනවා. මට ඒ ණය කවදාවත් ගෙවා නිම කරන්න තියා ඒකේ තරම හිතාගන්නවත් නොහැකි වුනත් මම පුලුවන් තරම් අම්මව සතුටින් තියන්න උත්සහ කරනවා. මම ආපහු ලංකාවට එන්නෙ අම්මා වඩාත්ම සතුටු වෙන දේ ඉටුකරන්නයි. ඒ අම්මට හොඳ ලේලි පොඩ්ඩක් ගේන එක. ඉතින් ඒ ගමන එනතෙක් මම සමුගන්නවා අම්මේ. අපි එදාට අද පාටියත් එක්කම සමරමු!

මගෙ උපන්දිනයට සුබ පතන්න එක්වෙන ඔබ සැමට බොහොමත්ම ස්තූතියි. බොහොමත්ම පිං෴

Seven lies of a mother


මට ලැබුනු විද්‍යුත් ලිපියකින් උපුටාගත්තකි.

Read more…